සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරු මිනිසුන් ගේ කථාන්දරය…..(9)

englishrepresentationtaskfinal2copy3

    කාර්යාලයේ පිවිසුම් දොර‍ටුව අද්දර වූ දැව අසුනට බර දීමි. “ඔබතුමාගේ පැමිණීම මහත් සතුටක්. මට විනාඩි කිහිපයක් දෙන්න ලොකු ස්වමීන්වහසේ හමුවෙලා එන්න.” කඩිසර ගමනින් යන ගබඩා පාලකතුමාට මා පැමිනි බව ලොකු ස්වමීන්වහසේ වෙතට සැලකරන්න අවශ්‍යව ඇතුවා විය යුතුය. මතක නිවැරදිනම් වසර 10ක් වැනි දිගු කලක් තිස්සේ අප කිහිප විටක්ම හමුව තිබේ. එය අපූරු බැදීමකි. මෙහි වන කිසිවෙකු අතර යැපීම් සිදු නොවේ. එකි නෙකා ප්‍රියකිරීම ඇරබෙන්නේ ඉහල තලකිනි. බර වචනයකින් පවසනවා නම් අධ්‍යාත්මික බැදීම යනු මෙය විය යුතුය.

                             “හැම තැනකම ඇත්තේ තොරතුරුය. සමහර තොරතුරු වලට ස්වභාවික ලෝකයේ මූලයන් ඇත, සමහර ඒවාට කිසි සේත්ම නැත. මිනිස් සංස්කෘති කථාන්දරය තොරතුරු හඳුනා ගැනීම හා ඒවා නිසි කලමනාකරනයට මිනිස් වර්ගයා ලත් හැකියාවේ දිගු ගමන් මගයි.” වරක් අප විශ්ව විද්‍යාලයට පැමිනි ආරාධිත දේශකතුමකුගේ නිර්වචනය නැවත නැවතත් සිහියට නැගේ .”DNA අනුවක් ‍රැගෙන යන්නෙත් තොරතුරුයි. මාසිකව ඔබ ගනු දෙනු කරන බැංකුවෙන් වාර්ථාවක් එවන්නේ ඔබගේ ගිනුමෙහි සිදුවූ චලනයන්ගේ තොරතුරුයි.” එය අපූරු නිර්වචනයකි. තොරතුරු තාක්ශනය පිලිබඳ විශාරදයෙකු වූ ඔහු අවසානයේ දහම ගැනද සඳහන් කරමින් තම දේශනය අවසන් කරන්නට කටයුතු කලාය. “අන්තිමට දැන් මට අවශ්‍යයි මම නම් තොරතුරු ගොනුව සැහැල්ලු කර ගන්නට. පලමුව වේගයෙන් එහි වන තොරතුරු ‍රැස්වීම අඩපන කරගන්නටත් ගබඩා වී ඇති තොරතුරු හැකි තරම් අඩුකර ගන්නටත්”.

                                           කෙමෙන් දැඩිවන හිරු කෙඳි කාර්යාල භූමියේම මදක් දුරින් ඇති විශාල නුගරුකෙහි අතු පතරින් රිංගා යමින් මිහිතලය සිපගන්නා විට මැවෙන්නේ සිත්ගන්නා අපූරු රටාවන්ය. ගබඩා භාරකරුගේ මද පමාව ඔස්සේ මදක් එදෙසට ඇවිද යන්නට සිත පෙලබේ. පෙර කී දේශකයා තොරතුරු තාක්ශනය හා පුද්ගල හා සමාජ යාන්ත්‍රන අතර තිබූ නොහැදූරුනු අවකශය පිලිබදව වඩාත් විනිවිද යන මතවාද කිහිපයක්ම පලනුවෙන් ලොවට හෙලි කල විද්වතෙකු වූවාය. මිනිසා භාෂා අත්පත්කර ගැනීමෙන් පසුව මිනිස් වර්ගයා අත්පත්කර ගත් වඩත්ම තීරනාත්මක හැකියාව තොරතුරු තාක්ශනය බව ඔහුගේ මතය විය. විටක භාෂවටත් වඩා තියුනු ලෙස මිනිස් ජීවිත විනිවිද යමින් එය මිනිස් වර්ගයා වෙතට සේවයක් ගෙනෙනු ඇති බවට අදහස් පල කොට සිටියාය. ” ඔබ ඔබගේ විෂය සීමාව ඉක්මවා යන්නෙකි”  දේශයනය අවසානයේ විමසුම් යොමුකරන අවස්ථාවේදී අපගේ විශ්වවිද්‍යාලයේම කනිෂ්ඨ ආචාර්ය වරයෙකු උපහාසාත්මකව ප්‍රශ්න කොට සිටියාය. සරල පාවහන් යුගලක් හා මද අවපැහැගැන්වුනු ඇඳුමකින් සැරසී සිටි එම දේශකයා සුපුරුදු සරල මුත් තියුනු වදන් වැලකින් පිලිතුරු දුන්නාය. “මට ඔබගේ උගත්කම් පිලිබදව වන ඔප්පු තිරප්පු වැනි හිමිකම් වලින් එතරම් තේරුමක් නැහැ. මම නිදහසේ ඇවිද යන්නෙක්. හැබැයි ඔබ මා වැරදි බව පැහැදිලි කරන හැම වාරයක් පාසාම මම ඔබට ගරු කරනවා. මන්ද ඒ හැම වාරයකදීම ජීවත් වන්නට අරමුනු ගෙන එනවා. හැබැයි ඔබතුමාට මම පෙර කීවා සේ දැනුම පිලිබදව ඔප්පු තිරප්පු වල මානය මට අදාල නැහැ. තවත් පැහැදිලි කලහොත් දැනුම හා අවබෝදය පිලිබදව මගේ මානය ඔබගේ මානයන් වලට වඩා වෙනස්. කොටින්ම ඒවා එකි නෙන හමුනොවන තරම් වෙනස්”. ඔහු අපූරු මිනිසෙකි.

මේ විසල් නුග රුකට ඔබ්බෙන් වන ශාලාව වේ පසු පසින් වන ගල්තලාව හා ඉන් අද්දරට ඇත්තේ තියුනු ප්‍රපාතයකි. ලොකු ස්වමීන් වහන්සේ බොහෝ විවේක අවස්ථා සදහා තොර ගන්නේ මෙම අවකාශයයි. ඒ ගල් තලාව මතට ගොඩ වූ විට මහත් දුරින් වන කඳු වැටි දක්වාම විහිදෙන්නේ විසල් විවෘත අවකාශයක්ය. විටක පමනක් මහත්සේ කැලෙබෙන සියතුන්ගේ හඬ හැරුනු විට අවට වන ගසකින් ගිලිහෙන තුරුපතක්  පොලොව මත ඇද වැටෙන හඬ පවා ඇසෙන තරමේ නිහඬ බව පෙර කී නිදහස් නෙතුමාන අර්ථයට වඩා බරපතල වටිනා කමක් ගෙනෙනවා වැනිය. ගබඩා බාරකරුගේ පමාව ඔස්සේ එම ගල්තලාව මත හිඳ මොහොතක් ගෙවා දමන්නට අවසර ලදිමි.

                             පෙර කී දේශක තුමාගේ දේශනයේ අවසාන භාගයේ සඳහන්වූ අපූරු සටහන් කිහිපයක් මතකට පිවිසේ. “ජීවිතේ කියන්නෙත් තොරතුරු ගොනුවක්. හරිම සංකීර්න එකක් හැබැයි. සිලිකන් මූලික ද්විත්ව වටිනාකම් ආකාරයට ගොඩනැගෙන යන්ත්‍රනයකට වඩා සංකීර්න ආකාරයට එතැනදී තොරතුරු ගබඩා වීම, යලි යලිත් සැකසීම, නැවත ලබාදීම සිදුවනවා වුවත් සරලව සලකන විට සමානකම් බොහොමයි. මට වැටහෙන ආකාරයට සසර වගෙ සංකල්ප පවා ගොඩ නැගෙන්නේ මේ විෂයට එකග ආකාරයට. දහම අපට යෝජනා කරනවා මේ අපිරිමිත තොරතුරු ‍රැස්වීම පාලනය කරන්නට කියා. දහම අපට යෝජනා කරනවා ‍රැස්ව ඇති තොරතුරු ඔස්සේ අපව නැවත නැවත මෙහෙයවෙමින්  සිදුවන ක්‍රියා වලීන් අවසන් කර දමන්නට නොපමාව කටයුතු කරන්නට කියා. බොහෝ නම්වලින් කෘතීම සීමා පනවාගන්නා දහම් සියල්ල යෝජනා කරන්නේ මෙයයි. පරිගණක විෂය තුලද අද මේ වගෙ යෝජනා “ඩිජිටල් වෙහෙස” වගේ නම් ඔස්සේ පැමිනෙනවා දකින්නට පුලුවන්. මේ දහම පිලිබදව දේශනයක් නොවන බව මම නොදන්නවා නොවේයි. ඒ වාගේම දහම හා තාක්ශනය සසදන්නට වගේ විසුලු කරනාවකට නොවෙයි මම උත්සාහ කලේ..”  නැවත ආශ්‍රමය වෙතට පැමිනෙන්නට එම දේශනය දැඩි සාධකයක් විය.

දැනුම අපූර්ව උපකරනයකි. එහෙත් එයට පාදා දිය හැකිදෑ සීමිතය. ජීවිතයට අවශ්‍ය බොහෝ දෑ ඉන් ඔබ්බටව පවතී. ලොකු ස්වමීන්වහන්සේ දැනුම යන්න පහදා දෙන්නේ වඩාත් අපූර්ව ආකාරයට. විටක ආශ්‍රමය කරා පැමිනෙන තම දැනුම පිලිබද උඩගු වන්නන් හා වාදයට පිවිසෙන්නේ නැත. මද සිනාව උන් වහන්සේගේ වඩාත් සංකීර්න පිලිතුරක වනවාය. විටක ඔවුන් භෞතික විද්‍යාව පිලිබදව වියතුන් වන අතර තවත් විටක වෛද්‍ය විද්‍යාව පිලිබදව වියතුන්ය. ඔවුන් අතොරක් නැතිව පැහැදිලි කරන සංකීර්න කාරනා ලොකුස්වමීන් වහන්සේ බොහෝ විට ඇහුම්කන් දෙන්නේ සුපුරුදු මද සිනාව සමගය. එහි අපහාසාත්මක බවක්, උඩගු බවක් හෝ නොසලකා හැරීමක් නැතිවා වැනිය. වැඩි හිටියෙකු කුඩා දරුවෙකුගේ දගකාර හැසිරීම් දෙස මැදහත් සිතින් බලා සිටිනවා වැනිය.

                                                    ජීවිතයට හමුවූ අපූරු චරිත අතර වරක් ආසියානු අධ්‍යාන ආයතනයක සේවය කරන අතර නැවතී සිටි නේවාසිකාගාරයට ආසන්න නගරයේ පෞද්ගලික වෛද්‍ය ආයතනයකදී හමුවූ කුඩා වෛද්‍යවරිය මතකයට නැගේ. වයසින් මෙන්ම සිරුරෙන්ද සරල තරුනියකවූ ඇය අහබු ලෙසට වරක් දහවල ආහාරය සදහා නගරයේ අවන්හලක ගොඩව සිටියදී පලමුවෙන්ම හමුවිය. ඇය වඩාත් සිත් ගන්නා ලෙසට දෑ පහදා දෙන්නට සමත් එකියක වූවාය. සාමාන්‍ය වෛද්‍යවරියක ලෙසට සේවය කරමින් සිටින අතරම ඇය වැඩිදුර අධ්‍යාපනයේ නිරතව සිටින්නක වූවාය. තම විෂයෙහි වඩාත් නම්‍යව ඔබ මොබ සරමින් මා අසන ගැටලු පහදා දෙන විටක මා මනස ඉබේම ද්විත්ව ස්වරූපයක් කරා මෙහෙයවෙයි. එක් කොටසක් ඇය මාගේ විමසීම පහදන යුරු අවධානයෙන් සිටින අතර අනෙක් කොටසින් ඇය වඩාත් ලගන්නා හඬින් එම පැහැදිලි කෙරුම කරන ආකාරය වෙතට ඉබේම සමීප වේ. ඉතා වෙහෙසෙමින් තම වෘතීය අනාගතයක් ගොඩ නගාගන්නට වෙහෙසෙමින් සිටිය ඇය වෙතට මා සිත බෙහෙවින් ඇදී ගොස් තිබිනි. තම දැනුම අතර සිට නොව දැනුමට මදක් ඉහලින්වන අවකාශයක සිට දෑ දකින්නට පැහැදිලි කර දෙන්නට ඇයටවූ හැකියාව අපූරුය. මිනිස් සිරුර , මනස, ඒවායේ ස්වභාවය, ක්‍රියාත්මක වන ආකාරය විවිධ ආකාර ගත් ආසාධනයන් චතුර ලෙස පැහැලිකරමින් වටහා දෙන්නට ඇය කැමති විය. එම මිතුදම “හැදෑරිම් ප්‍රියයන් දෙදෙනෙකු”  ගේ ලෙසට හැරෙන්නට වෙනත් ආකාරයකට ඒවකට මා භාවිතාකල දින සටහන්වලට අර්ථ ගන්වා ගන්නට මට නොහැකි විය. “මිනිසුන් එකි නෙකා ප්‍රියවීමේ පදනම ඉතා සරල කායික මට්ටමේ සිට අධ්‍යත්මික මට්ටම දක්වන වන වපසරියෙහි බොහෝ නෙක පැහැ ගන්නා අවස්ථා ඇති බව ” එවකට මා සටහන් කර තැබුවා මතකය.

එම අවන්හලද අපූරුම තැනකි. සතියේ එක් දිනම් එනම් සිකුරාදාවන්හි සැදෑව එහිදී අසිරිමත් බවක් ගනී. එදිනට එම අවන්හල ආලෝකමත් වනුයේ විදුලි පහන් එලියෙන් නොවන්නේය. විවිධ ආකාර ගත් විසිතුරු ඉටිපන්දම් එලි වලින් එය ඒකාලෝකමත් කෙරේ. බි‍තෝවන් , mozart වැනි පමනක් නොව රවීශන්කර් වැනි විසිතුරු හඬ රටා මැවුම් කරුවන්ගේ නිර්මාන වලින් පැමිනෙන්නන්ගේ දෙසවන් ප්‍රබෝධමත් කරන්නට ඔවුන් කටයුතු කරයි. තවත් දිනකදී නාට්‍ය නිෂ්පාදකයෙකු තවත් විටක චිත්‍රශිල්පියෙකු  එසේත් නැතිනම් මූර්ති කරුවෙකු කැදවා පැමින ඇති අමුත්තන් සමග සංවාදයකට එහි ඉඩ සලසයි. පැමිනෙන්නන් එම දිනය හඳුන්වන්නේ මුදල් ඇත්තන්ට වඩා දැනුම ප්‍රියකරන්නන් සදහා එම ආයතනය වෙන් කරන සෑදෑවක් ලෙසටය.

                                පෙරකී ඇය සමග මා නොවරදවාම එම සැදෑවට සහභාගිවීම පුරුද්දක් කොට ගෙන තිබුනාය. සෑබෑ මිතුරන් පිලිබදව එක්තරා සාහිත්‍ය සටහනකින් මතකයට රිංගා ගෙන තිබූ කියැවුමක් සත්‍ය බව එහිදී මා හොඳින් පසක් කර ගතිමි. ” සැබෑ මිතුරන් හට හෝරා ගනන් දොඩමලු වන්නට හැකිවා සේම හෝරා ගනන් එකිනෙකා නොදොඩමින් උවත් එකට කාලය ගත කරන්නට හැකිය” යන්නය. විටක අඩ අඳුරු ගන්නා මේසයන් වටා අප වාඩි වී සිටියෙමු. හෝරා ගනන් අප දොඩමලුව සිටියෙමු. නෙක විද්‍යාවන් පමනක් නොව සංගීතය , වේදිකා නාට්‍ය, වනි නෙක මාතෘකා අතර දෙබසින් ඔබ මොබ ඇවිද්දෙමු. එනමුත් කිසිදු කායික ලංවීමකට උත්සාහ නොකලෙමු. ඉඳ හිටක මතුවන එවන් හැගීමක් පවා ඉක්මවන සංහිඳියාවකට අප මිත්‍රත්වය පිවිස තිබිනි.

ජීවිතයේ සමහර දෑ තර්කය ඔස්සේ විමසන්නට තැත්කිරීම මහත් විසුලු ස්වරූපයක් කැදවීමක් වෙ. මිනිස් සබඳතා විෂයෙහි මෙම තත්වය වඩාත් සතයයක්ව හමුවේ. මිනිසෙක් තවත් මිනිසෙකුගේ බුද්ධියට ආදරවීම, චතුර බවට ආදරකිරීම , රසවින්දනයට ආදරයවීම වැනි නෙක පැහැ ඒ ආකාරයට තේරුම් ගැනීමට හරිම අපූරුය. සියලු මිනිස් සබඳතා කිසියම් ආකාරයක ලාබදායී ගනුදෙනුවක් ලෙසට ලඝු කරලන්නට අවශ්‍ය වීම පැහැදිලිව තේරුම් නොගත් වෙළඳ පොල  කරනය විචාරයකින් තොරව ජීවිතයට වද්දා ගැනීමට උත්සාහකිරීමකි. “සංහිඳියාව අහිමි කර ගැනීම. ජීවිතයෙන් භාගයක් මරනයට පත්කර ගැනීමකි” ටිබෙටියානු මිතුරා ගේ වචන සටහන් නැවත නැවත ජිවිතයට පැමිනීම විසිතුරු අත්දැකීමකි.

                                          එම අධ්‍යන ආයතනය සමග එලබතිබූ වසරක එකගතාවය දීර්ඝ කර නොගැනීමට මට සිදුවිය. ලොව වෙනත් කෙරවලක හැදෑරීම් අවකාශයකට යන්නට සිදුවීම කෙදිනකවත්  මා නොවිදි  අපහසුවක් වන්නාක් සේ මට දැනිනි. අපහසුවෙන් හෝ සමුගෙන යන්නට සිදුව තිබිනි. “අපූර්ව මිතුදම් වලින් සමුගන්නට වීම වඩාත් වේදනා කාරීය. එය හුදු එකිනෙකා මත යැපීමක් හෝ ලාභයක් මත නොව එකිනෙකාට ගරුකිරීම, ප්‍රියකිරීම වැනි සාධක මත ගොඩ නැගෙන නිසාදෝ වඩාත් සිත්පත්ල ආමත්‍රනය වන අවස්ථාවකි”. එම හැගීම එවකට දින සටහනේහි මාතැබූ එක් ආකාරයක් ලෙසට මතකට නැගේ. ඇයගේ සමරු සටහහක් සදහා ආරාධනාවක් ලැබිනි. එම සටහන කඳුලු වසා ගන්නට ගත් අසීරු සටහනක් විය. “අප සමුගෙන යා යුතුය. වඩාත් නැවුම් නැවත හමුවකට නම් සමුගෙන යා යුතුවම ඇත. එම සිදුවීම ඔබට දැනෙන්නේ වේදනාවක් ලෙසටද වඩාත් විවෘත බලාපොරොත්තුවක් ලෙසටද යන්න ඉහත වන තේරීම මත වනු ඇත”. සුපුරුදු අවන්හලෙහි සිකුරාදාවක සැදෑවක් එම අවසන් හමුවට වෙන් වෙමින් පැමින තිබිනි. ඉන්දියානු විස්මිත ස්වර පබදින්නෙකුවූ රවීශන්කර් සංගීත වේදියානන්ගේ දියනියගේ රසවත් තත් හැඬුම් වලින් එම සැංදෑව රසවත්ව තිබිනි. මධ්‍යම රාත්‍රියට ආසන්න වන තුරු අප එහි ‍රැදී සිටියෙමු. රාත්‍රියේ මාගේ නේවාසිකාගාරයේ දොරකඩ අසලමට ඇයගේ රියෙන් මා අරලවා ලන්නට පැමිනිනි. වසරකට ආසන්න කාලයක් පුරාවට පැවති අපේ මිතුදම  සදහා විරාමයක් කරා පැමින තිබුනෙමු. මිතිරන් ලෙසට හමුවූ අප මිතුරන් ලෙසටම සමුගෙන යා හැකිව තිබිනි. “ජීවිතය අපූරු අත්දෑකීමකි.” එදින රාත්‍රියේ එම මිතුදම ගැන සංෂිප්ත සටහන වචන දෙක තුනකට ගොනු කර තැබුවෙමි.

                                                                                                                                                                    Pubudu Siriwansa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )